Thursday, September 1, 2016

පද මිහිර - හිත

ගිය වර පද මිහිර ලිපි පෙළ ආරම්භ කළේ අත ගැන ලියලනේ. ඉතින් මේ පාර මොන පදේ ගැනද ලියන්නේ ලියල මම හිත හිත ඉන්නකොට දෙවරක් නොහිතම හිත ගැන ලියන්න හිතුවා. හිත ඇත්නම් පත කුඩාද කිව්වලූනේ. ඒත් ඉතිං හිත ගිය තැන මාළිගාව කියලත් මතක තියා ගන්න. සමහරු සමහරුන්ගේ හිත ගන්න නොකරන දෙයක් නෑ. ඒත් එක හිතක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?  ඕං එහෙම කිව්ව කියල හිත නරක් කර ගන්න එපා. සමහරු ඉන්නවනේ හිතේ තියෙන දේ පිටට නොපෙන්වන. ඒත් තවත් සමහරු හිතවත්කම් වැඩි වුණාම හිතේ තියෙන ඔක්කොම එළියට දානව.

බවලත් පාර්ශවේ උදවිය සාප්පු සවාරි ගිහිං හිතේ හැටියට බඩු අරං බිල දැක්කම කියනවනේ මං හිතුවේ නෑ එච්චර වෙයි කියල. අපි පොඩි පොඩි දේවල් හිතන මේ හිතින් කොච්චර දුරක් යන්න පුලූවන්ද? ඒ වුණාට කැත හිත තියෙන අයට නම් වැඩි දුරක් යන්න බෑ.  

ගල් හිත තියෙන කී දෙනෙක් මේ ලිපිය කියවනව ඇත්ද? මේක කියවලවත් ගල් හිත උණු කර ගෙන එයාගෙ හිත සතුටු කළොත් හොදයි.

කාගෙ කාගෙත් හිත සතුටු වෙන විදියට වැඩ කරන්න කියල කිව්වට එහෙම කරන්න බැරි බව දන්නේ හිත විතරයි. කැඩෙන බිදෙන බඩු හදන්න පුලූවන් වුණාට හිත බිදුනොත් නම් හදනව බොරු. ඒකෙ ඉතිං ඇත්ත නැත්ත දන්නේ හිත බිදපු අයම තමයි. 

හිතේ එකක් තියං කටින් එකක් කිව්වොත්නෙ නරක් වෙන්නෙ. ඔන්න මං හිතේ තියෙන එකම කියල දැම්ම.  

Thursday, August 25, 2016

මේපල් ගස් සෙවණ: පද මිහිර - අත

මේපල් ගස් සෙවණ: පද මිහිර - අත

පද මිහිර - අත

මෙතෙක් දවස් මේපල් ගස් සෙවණින් ඔබට දැනුම නිර්මාණාත්මක සුවය රැගෙන ආපු මට හිතුණා අපි නිතර දෙවේලෙ පාවිච්චියට ගන්න වචන ගැන ඔබත් සමග කතා කරන්න. ඒ නිසා මෙතැන් පටන් දිග හැරෙන්නේ පද මිහිර ලිපි පෙළයි.

පද මිහිර

මම අද ආරම්භක ලිපියට තොර ගත්තෙ අපි කාටත් තියන දෙයක්. එහෙම කිව්වයි කියල නැති අය මා එක්ක අමනාප වෙන්න එපා. අල්ලගන්ඩයි හරි යන්ඩයි දෙකටම තියන අත ගැන තමා මගේ පළමු ලිපිය. 

 අත කියන්නේ මේ ශරීරයේ තියන අපට නැතිවම බැරි දෙයක් ඒ වුණත් ඔය අත පය නැති මිනිස්සු මේ අපට වඩා කොයි තරම් හොදට ජීවත් වෙනවද? කවුරු වුණත් අතේ දුරින් තියා ගන්න එක ඇගට ගුණයි කියනවනේ. එහෙමයි කියල කාට හරි අත දෙන්න ලැබුණ අවස්ථාවක ඒක මග අරින එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ. සමහරු නම් ඉතින් අතට අත දීලයි පිළිගන්නේ, ඔය අතරෙ සමහරු අත ඉඔලා අත නොඇරම ඉන්නවා. මේක කියවන ඔය අයත් අත නොඇර ඉන්නම කෙනෙක් හොයා ගත්තොත් හොදයි. 



සමහරු මාසෙ අන්තිමට අත දිග ඇරල වියදම් කරල අතේ පිච්චියක් නැති වුණාම කාටත් අත පාලයි ජීවත් වෙන්නේ.


කිරි දරුවො කටේ අත දාගන්න දාගන්න අම්ම තාත්තගෙ වැඬේ අත අහක් කරන එක. ඔය දරුවොම තමා කර දඩු උස් මහත් වුණාම අත ගසා දාලා හතර අතේ යන්නෙත්. සමහරුන්ගෙ වැඬේම ඉතිං අනුන්ගෙ දේවල් වලට අත දාන එකනේ. අතේ පයේ හයිය තියෙන කාලෙ හරි හම්බ කර ගන්න  ඕනෑය කියල කතාවක් ඔය කොයි කවුරුත් අහල ඇතිනෙ. අතට දුන්න දේ කටට දා ගන්න බැරි අයත් ඔය අතරෙ ඉන්නවනේ. 


අත ගන්ඩ කෙනෙක් නැතුව ගෙදරටම නාකි වෙන ගෑනු අත නිකටෙ ගහගෙන කල්පනා කෙරුවට ගෑනු, මිනිස්සු හොයන් එන්නෙ නෑනෙ. අතපත්තු කියල නම තියන අයට ඒ නම ලැබුණේ සමහර දේවල් අතේම පත්තු වුණ හින්ද වෙන්න ඇති. අත මිරිකන, අත අල්ලන, අත අහකට ගන්න අය නම් කොයි තරම් බස්වල කෝච්චිවල යනවද? ඔය අතරෙ ඉන්නවනෙ අත මාරුවට ගන්න අයත්. 


මෙව කියවනකොට ඔයාලෙගෙ කට නොරිදුනාට මගේ අත රිදෙන හින්ද අදට අත ගැන ලියන එක නවත්තනව. ඔයාලටත් අත ගැන මොකොවත් හිතෙනව නම් හිත හිත නොඉද  ඕන එකක් වෙන්න කියල කියල දාන්න. ඊලග ලිපියෙන් මුණ ගැහෙනකම් අත නිකටෙ තියං දහ අතේ කල්පනා කරනව හෙම නෙවේ.

Monday, August 8, 2016

ගබ්සා කළ යුතු ගබ්සාව....................

සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික සදාචාරාත්මක සහ නීතිමය වශයෙන්  සමාජය ප්‍රතික්ෂේප කරන්නකි.  නමුත් ගබ්සාව අද සමාජය තුළ බහුලව  සිදුවන වමුත් වැඩි වශයෙන් කතා බහට ලක් නොවන සමාජ ගැටළුවකි.

ප‍්‍රධාන වශයෙන් ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එනම් ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යානුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ ය යන පදනම මතයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය.

අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. එය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි සමහර රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තාවලට අනුව දිනකට 800-1000ත් අතර ප්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ස්භාවය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය. 

දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි.

මේ උද්ගතව ඇති සමාජ ගැටළුව නිරාකරණය කිරීම සදහා ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැකිය යුතුය. මේ සඳහා 
ලිංගිකත්වය හා ප්‍රජනන සෙඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් දියත් කිරීම


පාසල් අධ්‍යාපනය තුළ ද විෂයික මට්ටමෙන් මෙම දැනුවත් කිරීම සිදු කිරීම

මේ සම්බන්ධ උපදේශන සේවා විධිමත් කිරීම 

පවුල් සැලසුම් ක්‍රම විධිමත් කිරීම

ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබා ගැනීම 

අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමුව ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයකි. මේ නිසා විවාහක පාර්ශවයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය.



Friday, August 5, 2016

සුරකිමු ජලය පණ සේ


‘‘මුදු  දිය දහරක
පවතින බලයෙන්
රළු  ගල් කුළු වුව
දිය  කරලිය හැක’’

බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඉහත කවි වියමණ ගම්‍ය කරන්නේ ජලය බල සම්පන්න ආයුධයක් බවයි. මහා පරාක‍්‍රමභාහු රජු ‘අහසින් වැටෙන එක දිය බි`දක්වත් ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදිය යුතුය’ යන ප‍්‍රකාශය කරන ලද්දේ ජලයෙහි ඇති අමිල වූ අගය වටහාගෙනය.

මිනිසාගේ පැවැත්ම සහ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට මහගු කාර්යයභාරයක් ඉටු කරන ජලය අසීමිත නොවන සීමිත සම්පතක් බවට පත්ව ඇත. එම නිසා ජල කළමණාකරණය අත්‍යාවශ්‍යයෙන්ම අවැසි බව ඔබත් මමත් අවිවාදයෙන්ම පිළිගන්නා සත්‍යයකි. අපගේ සිරුරේ 70% ක්ම වන්නේ ජලයයි. කිසිදු වර්ණයක් හෝ රසයක් නොමැති ජලය අනෙකුත් සියලූ පාන වර්ග අතර මුල් තැන හිමි කර ගන්නේ සියලූ ප‍්‍රාණීන්ගේ මූලික අවශ්‍යතාවයක්ද වන හෙයිනි. පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාමට මනා රුකුලක් වන ජලය අද වන විට මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය පාරිසරික වෙනස්වීම් ඇති කරන්නට හේතු වී ඇත. ශ‍්‍රී ලංකාවේ විටින් විට ඇති වන දරුණු නියං තත්වයන්, ජල ගැලීම්, නාය යාම් සදහා ඝෘජු හා වක‍්‍රාකාර මිනිස් ක‍්‍රියාකාරකම් හේතු වේ. වර්ෂ 2025 පමණ වන විට ලෝක ප‍්‍රජාව මුහුණ දෙන ප‍්‍රධානතම ගැටළුව ජල අර්බුදයයි. 
බහුවිධ අවශ්‍යතාවයන් සදහා නැතිවම බැරි ජලය සමාජයේ නොවිසදෙන ගැටළුවක්ව පවතින රැකියා අර්බුදය සදහා විසදුමකි. ජලය කේන්ද්‍ර කර ගත් බොහෝ රැකියා අවස්ථා ජනනය කිරීමට හැකියාව තිබියදීත් ඊට අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි. ලෝකයේ විවිධ වටිනාකම් වෙනුවෙන් දිනයන් නම් කිරීම් අතර ජලය සදහාත් දිනයක් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියා කරන ලද්දේ 1992 දෙසැම්බර් 22 වනදා ය. ඒ අනුව සෑම වසරකම මාර්තු 22 වනදා ලෝක ජල දිනය සදහා වෙන් වේ. 2016 වසරේ ලෝක ජල දිනයේ තේමාව වන Better water Better jobs යන්න සමාජයේ කතාබහට ලක් නොවූ පසුබිමකි.

ලොව පුරා වැඩ කරන ජනතාවගෙන් හරි අඩක් පමණ ජලය හා ඒ ආශ‍්‍රිත වෘත්තීන්හි නියැලේ. සංචාරක පාරාදීසයන් ලෙස නම් කර ඇති ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ කලාප මෙන්ම අභ්‍යන්තර කලාප කොතරම් නම් විදේශ විනිමය උත්පාදනය කරන සම්පත්ද? රටක ආර්ථිකය සවිබල ගැන්විය හැකි කොතරම් නම් ජලාශ‍්‍රිත රැකියා අවස්ථා වේද? ඒ අතරින් ධීවර කර්මාන්තය, මසුන් බෝ කිරීම, ගමනාගමනය, ජලාශ‍්‍රිත ක‍්‍රීඩා සහ සංචාරක කර්මාන්තය ආදීය කැපී පෙනේ. නමුත් මෙම රැකියා අවස්ථා වර්ධනය කිරීමට හෝ ඒ සදහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ අවම වශයෙනි. මීට මාස කිහිපයකට පෙර අසන්නට ලැබුණු පුවතක් වූයේ කිතුල්ගල ප‍්‍රදේශයේ දහස් ගණනකට රැකියා අහිමි කරමින් මෙගා වොට් 35ක විදුලිය උත්පාදනය කිරීම සදහා බලාගාරයක් ඉදිකරන බවයි. ඉන් එම ප‍්‍රදේශයේ ඝෘජු හා වක‍්‍ර රැකියාලාභීන්ගේ රැකියා අහිමි වන අතර rafting සදහා එහි පැමිණෙන සංචාරක ප‍්‍රජාවත් අප හට අහිමි වනු ඇත. නමුත් කළ යුත්තේ ජලය ආශ‍්‍රය කර ගත් රැකියා තව තවත් උත්පාදනය කිරීමයි. 


මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ සාගර විශ්වවිද්‍යාලය අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කරයි. එමගින් රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ජලජ කර්මාන්තය සදහා උගත් බුද්ධිමතුන් බිහි කරයි. රටේ දැවැන්ත අර්බුදයක් ලෙස වර්ධනය වෙමින් පවතින විරැකියාව සදහා භාවිත කළ හැකි එක් විකල්පයක් ලෙසත් ජලය ආශ‍්‍රය කර ගත් රැකියා හදුන්වා දිය හැක.

ජලයේ වටිනාකම මෙතෙකැයි කියා අහවර කළ හැක්කක් නොවේ. ජල සුරක්ෂිතතාවය වෙනුවෙන් ගත යුතු ප‍්‍රතිපත්තීමය ක‍්‍රියා පිළිවෙත් අද හෙටම ක‍්‍රියාවට නැංවිය යුතුය. නොයෙසේ නම් එය මානව සංහතියේ පැවැත්මට බලපෑම් එල්ල කරනු නියතය. එමෙන්ම මෙවර ලෝක ජල දින තේමාව අරුත් ගන්වනු වස් ජලය ඇසුරු කර ගත් රැුකියා උත්පාදනය කිරීමට පියවර ගත යුතුය.




Sunday, July 31, 2016

ජාති‘ක’ වාදය

 පිපාසයට
දිය පොදක්
 බොන්නට
අාඩි ළිදකි
හමු වුණේ
මට

අවාසනාවට
කුරිරු
යුද්ධය
ඒක් අතක්
අහිමි
කළා මට

වාසනාවට
පිපාසය
නිවාලූයේ
ත‍්‍රස්තවාදී යැයි
කියූ
මවකි..............

පොඩි සාධූ......

කහ සිවුරක් අැග වට දා
පොඩි කලිසම අතහැර දා
කැරලි ගැහූ පොඩි කෙහෙරැළි
හිස මුඩු වන තෙක්ම කපා

ඒතෙර වෙන්න මේ සසරෙන්
බුදු සාධුගෙ සරණ පතා
යන්නට පියමං කෙරුවත්
වැදු මව් මට දුකක් වෙලා

සීනි බෝල ලොසින්ජරය
මෙහෙදිත් මට ලැබෙනවානේ
පොල් සම්බොල වෙනුවට
රස අාහාර ලැබෙනවානේ

අකුරු ඉගෙනගන්නට මට
හැම දෙන පෙළඹවනවානේ
අම්මගෙ උණුහුම විතරයි
නොලැබෙන්නේ පන්සලේදී

(මේ ඡායාරූපය රාගම දුම්රිය ස්ථානෙය්දී අහම්බෙන් දුටු දෙයක්)

Thursday, July 28, 2016

දෑස් අද කරන ග්ලෝකෝමාව පරදවමු.

මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් අතරින් අසිරිමත් එක් ඉන්ද්‍රියයක් ලෙස දෑස හදුන්වන්නට පුළුවන්.ලෝකය සුන්දරව දකින්නටත් ආලෝකය හදුනා ගැනීමටත් මිනිස් ශරීරයේ ඇති එකම ඉන්ද්‍රීය වන්නේ දෑස් ය.මිනිස් ඇසකට විවිධ වර්ණ මිලියන 10ක් පමණ වෙන් කර හදුනා ගැනීමට හැක.ඇස් පරීක්ෂාවක් සිදු කිරීම මගින් අපට වැලදෙන විවිධ රෝග විශාල සංඛ්‍යාවක් හදුනා ගැනීමේ හැකියාවකුත් පවතිනව.

ඇසට ඇති වන  ඕනෑම රෝග තත්වයක් අප හදුන්වන්නේ ඇස් රෝග විදිහටයි.ඒ රෝග තත්වයන් අතරින් වැඩිම දෙනෙක් අන්ධ භාවයට පත් වෙන්නේ ඇසේ සුද ඇති වීමෙනුයි.නමුත් එය ප‍්‍රතිකාර ඔස්සේ යථා තත්වයට පත් කර ගැනීමට පුළුවන්.අන්ධ භාවය ඇති වීමට බලපාන දෙවන රෝග තත්වය වන්නේ ග්ලෝකෝමාවයි.මෙය සමාජයේ අවධානය අඩුවෙන් ලැබූ නමුත් අවදානම් රෝගයක් ලෙස නම් කරන්නට පුළුවන්.ඇසට ඇති විය හැකි භයානකම රෝගය ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වන්නේ මින් නිට්ඨාවටම සුවය ලබන්නට නොහැකි නිසයි.ඇසේ දෘෂ්ටික ස්නායුව ක‍්‍රම ක‍්‍රමයෙන් හානි වී අන්ධ භාවයට පත් වීම මේ රෝගයේ ස්වභායයි. ග්ලෝකෝමා රෝගය අදෘශ්‍යමාන වූ රෝගයක් ලෙසත් හදුන්වන්නට පුළුවන්. අනෙකුත් රෝග මෙන් නොව  ග්ලෝකෝමා රෝගය පූර්ව රෝග ලක්ෂණ මගින් හදුනා ගැනීමට ඇති නොහැකියාව මෙහි පවතින අදෘශ්‍යමාන බවයි.තවත් කරුණක් වන්නේ වෛද්‍යවරුන් වෙත යොමු වීමෙන් හෝ ස්වයං අධ්‍යයනයකින් තොරව ග්ලෝකෝමා රෝගය නොහැකි බව.

ලෝකයේ විවිධ අක්ෂි රෝග හේතුවෙන් මිලියන 39ක ජනගහනයක් අන්ධ බවට පත්ව ඇත.තවත් මිලියන 246ක ජනගහනයක් යම් යම් දෘෂ්ටික ඌණතාවයන්ගෙන් පෙළේ. ග්ලෝකෝමා රෝග තත්වය නිසා ලෝක ජනගහනයෙන් මිලියන 4.5 ප‍්‍රමාණයක් අන්ධභාවයට ලක්ව ඇති අතර තවත් මිලියන 60.5ක් රෝගය හදුනා නොගත් අවස්ථාවේ පසුවේ.වර්ෂ 2020 වන විට එය මිලියන 80 දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතී.2014 වසරේ විෂන් 2020 කාර්යාලය අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව සිදු කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 පමණ ග්ලෝකෝමා රෝගයට ගොදුරුව ඇති බවයි.එය සමස්ත ජනගහනයෙන් 6%ක ප‍්‍රමාණයක්.

ග්ලෝකෝමා රෝග තත්වය වැලදීමේ අවදානමක් සහිත කොටස් කීපයක් හදුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝගය වැලදෙන්නේ අවුරුදු 40 ඉක්මවූවන්ට යි. දෙමව්පියන්ට ග්ලෝකෝමා රෝගය පවතිනවා නම් එය දරුවන්ට වැලදීමේ අවදානම පස් ගුණයකි.සහෝදර සහෝදරියන්ට රෝගය පවතිනවා නම් ග්ලෝකෝමා වැලදීමේ අවදානම නව ගුණයකි.වයස අවුරුදු 60 ඉක්මවූවන්ටත් මෙය වැලදීමේ හැකියාවක් පවතී.එමෙන්ම පෙනීමේ දෝශ සදහා ඝණ උපැස් යුවල භාවිත කරන්නන්ටද ග්ලෝකෝමා අවදානම පවතිනවා.තවත් විශේෂ කරුණක් වන්නේ ඇස ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තැල්මක් වී ඇත්නම් එය පසු කාලීනව ග්ලෝකෝමා තත්වයක් බවට පත්වීමේ ඇති හැකියාවයි.ඇසේ පවතින දෘෂ්ටි ස්නායුවේ ලේ කැටියක් පවතින්නේ නම් එවැනි අයගෙන් 60%ක් පසු කලකදී ග්ලෝකෝමා අවදානමට පත් වන බව සොයා ගෙන ඇත.

මෙම රෝගය දීර්ඝ කාලයක් ඇසේ සිදු වන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස හැදින්වීමට පුළුවන්.මෙහිදී සිදු වන්නේ ඇසේ පීඩනය වැඩි වීම නිසා දෘෂ්ටි ස්නායුව මත තෙරපුවක් ඇතිව ඊට ලේ ගමනාගමනය අඩු වී ස්නායු අක‍්‍රීය වීමයි.මිනිස් ඇසේ පවතින අම්ල තරලය ඇසෙන් පිටතට යාම සාමාන්‍ය ක‍්‍රියාවලියයි.නමුත් ග්ලෝකෝමා රෝගයේදී එම තරලය ඇසෙන් පිටතට ගමන් කරන ස්ථානය අවහිර වේ.ඒ හේතුවෙන් එම තරල ඇස තුළම එකතු වේ.එලෙස තරල ඇසෙන් පිටතට ගමන් කරන ස්ථාන අවහිර වීම සදහා ජානමය හේතු බලපායි.ඇස තුළ දිගින් දිගට එක් වන තරල හේතුවෙන් පීඩනයක් හට ගනී.ඉන් දෘෂ්ටි ස්නායුව මත තෙරපුමක් ඇති කර ඒ කරා පැමිණෙන ලේ ගමනාගමනය අඩු වේ.මේ අකාරයට ඇස ඇතුළත තරලයේ නිපදවීම් වැඩි වීම සහ පිටවීම අඩු වීම නිසා පෙනීමේ පරාසය ක‍්‍රමයෙන් හීන වේ.එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ අන්ධභාවයට පත් වීමයි.

ග්ලෝකෝමාව මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් කල් තියා හදුනා ගැනීමෙන් පෙනීම ආරක්ෂා කර ගන්නට පුළුවන්.ඒ සදහා රෝගය වැලදීමේ වැඩි හැකියාවක් පවතින වයස අවුරුදු 40 ඉක්මවූවන් වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතුයි.දියවැඩියා රෝගීන් සදහා කෙරෙන අක්ෂි පරීක්ෂාවන්හීදීත් ග්ලෝකෝමා අවදානම හදුනා ගැනීමට පුළුවන්.එමෙන්ම වයස අවුරුදු 40 ඉක්මවුවන් පෙනීමේ දුර්වලතා ම`ග හරවා ගැනීමට උපැස් යුවලක් භාවිත කරනවා.ඒ සදහා අක්ෂි පරීක්ෂාවන් සිදු කරන අවස්ථාවන්හීදීත් ග්ලෝකෝමා රෝගය වැලදීමේ ප‍්‍රවනතා හදුනා ගත හැකිය.ඇසෙහි දෘෂ්ටි ස්නායුවේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් මුල් අවස්ථාවේදීම ග්ලෝකෝමා රෝගය හදුනාගන්නට පුළුවන්.නමුත් එක් වසරක පරීක්ෂාවකින් සෑහීමට පත් නොවී දීර්ඝ කාලීනව පරීක්ෂණ සිදු කිරීම මගින් රෝග අවදානමෙන් මිදෙන්නට හැක.තවද එම පරීක්ෂණ ඇසුරින් තම ඇසේ ස්නායු තන්තු අඩු වේ දැයි හදුනා ගැනීමටත් තමාට ග්ලෝකෝමා අවදානමක් පවතින්නේදැයි නිශ්චය කර ගන්නටත් පුළුවන්.දෑස් අන්ධභාවයට පත් කරවන මේ රෝගය මුල් අවස්ථාවේදී හදුනා ගන්නට නොහැකි වුවොත් රෝගය උඩු දුවන විට උපකරණ භාවිතයෙන් රෝගය හදුනා ගන්නට පුළුවන්.නමුත් දෘෂ්ටි ස්නායුව 60%කට වඩා දුර්වල වූ පසු ප‍්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන් හදුන්වන්නේ ප‍්‍රමාදව පැමිනෙන්නන් ලෙසයි.

ග්ලෝකෝමා රෝගය සදහා පිළියම් ලෙස බිංදු බේත් ප‍්‍රතිකාරය සහ ශල්‍යකර්ම මේ වන විටත් ක‍්‍රියාත්මකය.බිංදු බේත් ප‍්‍රතිකාරය මගින් සිදු වන්නේ රෝගය යම් තරමකට පාලනයක්.එනම් ඇසේ පීඩනය පාලනය කර ඉන් දෘෂ්ටි ස්නායුවට ඇති වන අවදානම අවම කිරීමයි.ග්ලෝකෝමා රෝග තත්වය වැලදී ඇති පුද්ගලයෙක් වෛද්‍ය නිර්දේශය අනුව නියම කරන ලද ප‍්‍රතිකාර නොකඩවා ජීවිත කාලය පුරාවට ලබා ගත යුතුයි.යම් ග්ලෝකෝමා රෝගියෙක් ප‍්‍රතිකාර වෛද්‍ය නිර්දේශ නොතකා නතර කළ හොත් දෘෂ්ටි ස්නායුවේ තන්තු ඇති වන පීඩනය හේතුවෙන් අඩු වේ.සාමාන්‍යයෙන් මිනිස් ඇසක දෘෂ්ටි ස්නායුවේ තන්තු මිලියන 1.2ක් පවතී.එම ස්නායු තන්තු රැුක ගැනීමට අපොහොසත් වුවහොත් දෘෂ්ටි පරිපථය හීන වේ.ග්ලෝකෝමා රෝගයට බිංදු බේත් ප‍්‍රතිකාරයට අමතරව ශල්‍යකර්මද භාවිත කරයි.ඉන් සිදු වන්නේ ඇසේ අම්ල තරලය ඇසෙන් පිටතට ගමන් කිරීමට සිදුරක් සකස් කිරීමයි.නමුත් එම සිදුරේ ක‍්‍රියාකාරීත්වය විවිධ හේතු නිසා අඩපණ වන්නටත් පුළුවන්.එලෙෂ ශල්‍යකර්මයකට යොමු වූ රෝගියෙක් වුවද යළි යළිත් පරීක්ෂණ සදහා යොමු විය යුතුය.ඊට හේතු වන්නේ ග්ලෝකෝමා රෝගය ශල්‍යකර්ම මගින් 100% සුව කිරීමට ඇති නොහැකියාව යි.

ශ‍්‍රී ලංකාවේ සියලූම අක්ෂි සායන වල ග්ලෝකෝමා රෝගය තිබේදැයි පරීක්ෂා කරවා ගැනීමේ හා ප‍්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්.එම සායන වලට සහභාගි වීමෙන් රෝගය හදුනා ගැනීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබේ.අක්ෂි සායනයක් වෙත යෙමු වීමේ දුෂ්කරතා පවතින්නේ නම් රජයේ සියලූ රෝහල් වලදී මීට අවැසි සියලූ ප‍්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමට පුළුවන්.ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගීන් සහ සාමාන්‍ය ජනතාව සදහා ග්ලෝකෝමා අක්ෂි පීඩන පරීක්ෂා කිරීමේ කුටියක් දැනටත් ක‍්‍රියාත්මකයි.එමෙන්ම ග්ලෝකෝමා රෝගය සදහාම විශේෂ ඒකක ජාතික අක්ෂි රෝහලේ සහ නුවර මහ රෝහලේ පිහිටුවීමට සූදානම්.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කරන ආකාරයට 2016 වසරේ අක්ෂි සේවාව පුළුල් කිරීමට සහ එහි ගුණාත්මක බව වැඩි කිරීමට පියවර රැසක් ගෙන තිබේ.පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය හා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අක්ෂි ශල්‍ය වෛදයවරුන් තව තවත් පුහුණු කරන්නට පියවර ගෙන ඇත.අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීපා සිරිවර්ධන මහත්මිය සදහන් කරන අකාරයට එම සංගමය විසින්  ග්ලෝකෝමා රෝගය පිළිබ`ද සාමාන්‍ය වෛද්‍යවරු, අක්ෂි තාක්ෂණවේදීන්, අක්ෂි ඒකක වෛද්‍යවරුන් සහ හෙදියන් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන බවයි.මේ සියල්ලේ එකම අරමුණ වන්නේ ග්ලෝකෝමා රෝගය පිළිබද දැනුවත් භාවය වැඩි කරලීම මගින් රෝගය මැඩපැවැත්විමයි. 


අපේ නාට්‍ය කන හඩ කැවූ නාට්‍ය


නිර්මාණයක පළමු කාර්යය වන්නේ රසවින්දනයයි. සෝප් ඔපෙරාවෙන් ජීවය ලද ටෙලි නාට්‍ය කලාව රසවිදනය ප‍්‍රමුඛ කරගත් එක්තරා නිර්මාණයකි. 

දිමුතු මුතු, ළාහිරු දහසක් යන්නේ ඇරඹි මෙරට ටෙලි නාට්‍ය වංශ කතාව ඉහළ ප‍්‍රශස්ත මට්ටමක් පෙන්වූ දඩුබස්නාමානය, කඩුල්ල ආදීයෙන්ද පරිපූර්ණ විය. නමුත් අවාසනාවකට මෙන් මීට වසර ගණනාවකට පෙර එක්තරා රූපවාහිනි නාලිකාවක් හදුන්වා දුන් ඉන්දියානු හඩ කවන ලද නාට්‍ය හේතුවෙන් ශ‍්‍රී ලාංකික ටෙලි නිර්මාණ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පා සිටී. මීට කලකට ඉහතදී විකාශය කල හඩ කැවූ නාට්‍ය සීමිත වුවද වත්මන වන විට එය සීමාව ඉක්මවා ගොස් හමාරය. 

මෙම ටෙලි නිර්මාණයන්හි බහුලව දැකිය හැකි ලක්ෂණ වන්නේ මානසික ආතතිය, හුදෙකලාව, සාංකාව, ප‍්‍රචණ්ඩත්වය, සැකය, කුතුහලය, බිය, අත්භූත බව, ලිංගිකත්වය ආදීයයි. 


නාටය ආරම්භයේ පටන් උත්සාහ ගැනෙන්නේ පේ‍්‍රක්ෂකයා ඉහත ලක්ෂණයන්ට ඇද බැද තබා ගැනීමටයි. සාමාන්‍ය ගෘහ ජීවිතය තුළ සිදුවන සිදුවීම් අසම්මත ආකාරයට නාට්‍යට ඇතුල් කරමින් පේ‍්‍රක්ෂක මනස කුතුහලයෙන් පිරවීම මෙම නාට්‍යන්හි තවත් අරමුණකි. මෙම නිර්මාණ නැරඹීම හේතුවෙන් පුදගල මනස තව තවත් ව්‍යාකූල වනවා මිස පුද්ගල සංතෘප්තියට හෝ රසවින්දනයට එය හේතු නොවනු ඇත. 


ලස්සනෙහි අවලස්සන කතාව


පුරාණ සාහිත්‍යයේ කාන්තාවගේ තොල් උපමා ලැබූවේ නා දළු වලටයි. කාන්තාවන්ගේ තොල් මොන තරම් අවධානයට පාත‍්‍ර වූවක්ද යන්න එයින් ම ඔප්පු වෙනව. කාන්තාවන් වන ඔබත් මමත් ලස්සන පියකරුව සිටින්නට කැමතියි. ඒ සදහා කාන්තාවන් විවිධ සත්කාරයන් සමට, මුහුණට, සිරුරට සිදු කරනවා. එලෙස අභ්‍යන්තරයෙන් හා බාහිරින්  සිරුරට ඇතුල් වන අමුද්‍රව්‍යයන්හි කොතරම් නම් සිරුරට අහිතකර ද්‍රව්‍ය වනවාද යන්න පිළිබදව ඔබ මීට පෙර සිතා බැලූවාද? නැතිනම් මේ එසේ සිතා බැලීමට කාලයයි.

වර්තමානයේ කාන්තාවන් අතර බහුල වශයෙන් භාවිතයට ගන්නා දෙයක් වන්නේ ලිප්ස්ටික්. එසේත් නැතිනම් තොල් ආලේපනයි. සාමාන්‍ය ගමනට, මංගල අවස්ථාවකට, කාර්යාලීය ගමනට වැනි කිනම් අවස්ථාවකට වුවද අද වයස් සීමාවකින් තොරව තොල් ආලේපන භාවිත කරයි. තොල් ආලේපන අතර මිලෙන් වැඩි මෙන්ම මිලෙන් අඩු බාල ගණයේ ආදේලනද වේ. සුදුසු වන්නේ මිලෙන් අඩු හෝ වැඩි බව නොවේ. එහි සෞඛ්‍යාරක්ෂිත බවයි. උසස් තත්ත්වයෙන් තොර වු තොල් ආලේපන ගැල්වීමෙන් තොල් කලූ වීමට මෙන්ම තොල් වියලීමටද ඉඩ ඇත.

සමහර තොල් ආලේපන පැණි රසකින් යුක්තය. එම පැණි රස ලබා දෙන්නේ විෂ සහිත රසායනිකයක් වන ලෙඞ් ඇසිටේට් මගිනි. තොල් ආලේපනයන්හි හැගවි ඇති ප‍්‍රධාන සතුරා වන්නේ මෙම ලෙඞ් රසායනිකකයයි. ලෙඞ් අඩංගු තොල් ආලේපන භාවිතයේදී පිළිකා, වකුගඩු රෝග, ආඝාත සෑදීමේ අවධානමක් සහිතය. 2004 වසරේ කළ පර්යේෂණයකින් තොල් ආලේපන 711 පරීක්ෂාවට ලක් කර ඉන් 28%කම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති බව සොයා ගැණිනි. ලිප්ස්ටික්, ලිප් ග්ලොස්, ලිප් බාම් යනුවෙන් අප හදුන්වන සෑම තොල් ආලේපනයකම ඉහත අවධානම පවතින බව අප අමතක නොකළ යුතුය. ඔබේ දෙතොල හැඩ කරන තොල් ආලේපන බොහෝමයක් නිර්මාණය වි ඇත්තේ පිළිකා කාරකයක් වන තාර ඇසුරිනි. 

තවත් කරුණක් වන්නේ තොල් ආලේපන වල අඩංගු වර්ණක සිරුර තුළට ඇතුල් වීමද අහිතකර වීමයි. නමුත් තොල් ආලේපන දිගින් දිගට ගල්වන කාන්තාවන්තම දිවිය පුරා තොල් ආලේපන රාත්තල් 2,3ක් පමණ ශරීරගත කර ගන්නා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.

ඔබත් ඔබේ ජීවිත කාලය පුරා කොපමණ තොල් ආලේපන ප‍්‍රමාණයක් කනවාදැයි තීරණය කරන්නට මේ හො`දම අවස්ථාවයි.


Monday, July 25, 2016

පොඩි දුවේ.....

නුඹ දකින ලෙස
නෙවෙයි
ලොව නුඹව
දකින්නේ
කුරිරු වෙසෙනුයි
අද
සමාජය
පෙනෙන්නේ

පොඩි ඒවුන්
ගිලගන්න
මහ ඒවුන්
රැක සිටින
යක්ෂ වේෂයෙනි
අද
සමාජය
පෙනෙන්නේ

වසර ගණනක් පුරා
පණ මෙනි
නුඹ රැකුවේ
මුහුණු පොත්
මර උගුල
බිලි ගන්න
පෙර නුඹව
පොඩි දුවේ
වැළකියන්........


Sunday, July 24, 2016

පියාණෙනි....

මගේ ලොවට හිරු සදු ඔබමයි

අාදරයේ සේතුව ලෙස 
මා මෙලොවට බිහි වූ දා
ඔබගේ දෙනයන තෙත් වී
කදුලු බිංදු වැගිරෙන දා

මවගේ සෙනෙහස අහිමිව
ගිය මා හට ඒය නොදැනිම
තියන්න වෙහෙසුණ ඔබ සද
පියාණෙනි මතු බුදු වන

හොදින් උගන්වා මා හට
ඔබටත් ඉහළින් වැජඹෙන
තනතුරකට
පත් වූ සද
ඒදත් අැඩුව අද වගේම

කුල කුමරිය වී මා අද
පෝරුව මත සිටිනා විට
හංගා ගත් කදුලු නෙතින්
පිට වූයේ මා යන කල

Thursday, July 21, 2016

වන සිරිය

තුරු වැල් ලතා ගොමු නෙත මන      බදින
නෙක මල් ඵල බරින දිවගට රසය      ඒන
ගගුලැල් අැද හැලෙන ගත සිත සිසිල දෙන
මේ වන සිරිය මන දසුනකි මට        නිතින

Wednesday, July 20, 2016

සොබාදම

ගහකොළ සතා සිව්පාවෝ         වටිනේය
මහ සම්පතකි ඒ්වා මට ඔබ            හැමට
නොදනිත් අගේ ඒ්වායෙහි       සමහරෙක
රැකුණොත් සොබාදම හිමිවෙයි හැම පිහිට


Saturday, July 16, 2016

බිදුණු පෙම


කදුලු පිරි දෙනයන
හැගුම් පිරි සිත් අහස
මතකයන් පිරි වටපිටාව
පමණයි මට ඉතිරි වුණේ

හමුවුණ තැන් මග බලාන
ඉන්නව අපි එන තුරාම
ඔබෙත් මගෙත් පෙම්බස් වල
රසය විදින්න

හොරාට ඔබ අැවිත් මදෙස 
බලාන හිටි අපූරුවම
අැති මට ජීවත් වන්නට
සසර පුරාම

Friday, July 15, 2016

සර්වාංගයටම සුව දෙන දිව ඔසුවකි සියඹලා

සර්වාංගයටම සුව දෙන දිිව ඔසුවකි සසියඹලා නම ඇසූ පමණින් බොහෝ දෙනෙක්ගේ මුඛයට කෙළ උනන්නේ කෑමට දක්වන ප‍්‍රියතාවය නිසාම නොවේ. නමුත් සියඹලා අප භාවිත කරන්නේ දේශීය රසකාරක කුළු බඩුවක් ලෙසයි. කෙසේ වුවත් සියඹලා යනු රසකාරකයක් පමණක්ම නොවේ. එය දේශීය ඖෂධයකි.පෙර රජ කාලයේ සියඹලා ශාකයට හානියක් කළහොත් එය රාජ උදහසට ලක්විමට තරම් කරුණක් ලෙසය සැළකූ බවට පුරාණ ග‍්‍රන්ථ තොරතුරු සපයයි. එතරම් වටිනාකමක් මේ ශාකයට හිමි වූයේ මෙහි පවතින ඖෂධීය ගුණය හේතුවෙනි.


ලෙගියුම්නොසියෝ කුලයේ ටැමරින්ඩස් ගණයට අයත් සියඹලා ශාකය වියලි කලාපීය දේශගුණයක බහුලව දක්නට ලැබේ. ඉන්දියාව සියඹලා ශාකයේ නිජබිම වන්නට ඇතැයි බොහෝ දෙනෙක් සලකන්නේ සියඹලා දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වන නිසාය. නමුත් දකුණු අප‍්‍රිකාව සියඹලා ශාකයේ නිජ බිමයි. වර්තමානය වන විට පකිස්ථානය, බුරුමය, බෙංගාලය සහ ශ‍්‍රී ලංකාවේ සියඹලා ශාකය ව්‍යාප්තව ඇත.මෙම ශාකය බෝවීම සිදු වන්නේ බීජ මගිනි. ශාකය වැඞී අවුරුදු 10 ඉක්මවන විට ඵල හට ගැනීම ඇරඹේ.


සියඹලා කරල පොත්ත, මදය සහ ඇටයෙන් සමන්විතය.ඉදුණු සියඹලා මිහිරි ඇඹුල් රසයකින් යුතුය. ආහාර රස ගැන්වීමට මෙන්ම ඖෂධයක් ලෙස සියඹලා ශාකයේ සෑම කොටසක්ම පාහේ භාවිත කරයි.

උෂ්ණාධික පානයක්් වන සියඹලා බොරය ආහාර රුචිය වැඩවීමටත් පිපාසය සමනය කිරීමටත් හැකි අගනා පානයකි. දේශීය වෙදකමෙහි අම්ල වර්ග වලට විශේෂ තැනක් හිමිවිය. අම්ල වර්ග වලින් කෙරෙන ප‍්‍රබලතම කාර්යය හදවත් රෝග සුව කිරීමයි. ඉදුණු සියඹලා මදය හදවතට ඉතා ගුණදායක වන අතර ඉන් මළ බද්දය දුරු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම ඉදුණු ඵලය අමාශයට හා අන්ත‍්‍ර වලට ඉතා ගුණදායකය. 

සියඹලා කුඩා ළමුන්ට ලබාදෙන අනගි විරේක ඔසුවක් ලෙස මව්වරුන් අතර නොරහසකි. අතීසාර රෝගීන්ට සියඹලා අනගිි ඔසුවකි. සියඹලා බීජයේ පවතින රතු පැහැති කුරුට්ට අතීසාර රෝග හරණය කරයි. එමෙන්ම අතීසාර රෝගීන්ට ලබාදෙන සියඹලා කොළ ආම්ලික සාරය මුත‍්‍රා ගල් අවස්ථාවන්හී ද භාවිත කරයි. 

සියඹලා යොදා ගනිමින් අතීතයේ පිළියෙල කරන තැම්බුම් හොද්ද කායම් හොද්ද යනුවෙන් කා අතරත් ප‍්‍රසිද්ධය. වර්තමානයේත් දරුවන් ප‍්‍රසූත කළ මව්වරුන්ට සහ මල්වර වූ දැරියන්ට තැම්බුම් හොදි පානය කිරීමට සලස්වන්නේ සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩවීමට සමත් ඔසුවක් ලෙස සියඹලා හ`දුන්වන බැවිනි.

සියඹලා කරලටම ආවේණික වු රසවත් ඇඹුල වෙනත් කිසිදු දෙයකින් ලබා ගන්නට නොහැක. ආහාර කල් තබා ගැනීමට අතීතයේ පටන් සියඹලා යොදා ගෙන තිබේ. සියඹලා කරලේ පවතින සීනි සහ ආම්ලිකතාව ඉහළ අගයක පැවතීම මීට හේතුවයි. මීට අමතරව සියඹලා බීජයෙන් විවිධ ආහාර නිෂ්පාදනය කරයි. එනම් සියඹලා පල්පය, බීම, අච්චාරු, සිරප්, දෝසි, සොස්, චට්නි, ජෑම් සහ ටොෆී යනාදීයයි. 

ඇතැම් සත්ත්ව විෂ නසන්නටත් සියඹලා ශාකයේ නොයෙක් කොටස් භාවිතයට ගැනේ.

සියඹලා බීජය වාණිජ වටිනාකමින් යුතු භාණ්ඩ නිමවීමට භාවිත කරන අතර ඒවා ස`දහා වෙළ`දපොළෙහි විශාල ඉල්ලූමක් පවතී. එමෙන්ම සියඹලා බීජයෙන් ලබා ගන්නා කහ පැහැයට හුරු තෙල් වාර්නිස් හා තීන්ත නිශ්පාදනයට යොදා ගනී.




සියඹලා කුළු බඩුවක් ලෙසත් ඖෂධයක් ලෙසත් අප සිරුරට ලබා දෙන දායකත්වය සුළු කොට තැකිය නොහැක. ක්ෂණික ආහාර සහ කෘතීම ආහාර ස`දහා ඉල්ලූම වැඩිවන යුගයක ඖෂධීය වටිනාකමකින් යුතු සියඹලා පරිභෝජනය තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල හැක.

Sunday, July 10, 2016

හිත ලෙඩ කරන selfi
නූතන කාර්යබහුල සමාජයේ නැතිවම බැරි උපකරණයක් වන ජංගම දුරකථනය වර්තමානය වන විට ගෙන ඇති නවතම සංකල්පය වන්නේ සෙල්ෆි ය. මෙය ජංගම දුරකථන වෙළදපොළ ස්ථාවරව පවත්වා ගැනීමට ගත් සාර්ථක උත්සාහයක්. සෙල්ෆි නූතනය තුළ නව ජනප‍්‍රිය සංස්කෘතියක් බවට පත්ව ඇත. මේ අපූර්ව වූ කලාව බාල මහළු කොයි කවුරුත් නම කියූ සැනින්ම හදුනන්නකි. සරලවම කිවහොත් සෙල්ෆියක් යනු කැමරාවක් ඔස්සේ තමා විසින්ම තමන්ගේ ඡායාරූපයක් ගැනීමයි. ජංගම දුරකථනය බහු කාර්යය උපකරණයක් බවට පත් කරමින් ඊට කැමරාවක් සහ ඡායාරූප මෘදුකාංග එක් කර වෙළදපොළට හදුන්වා දුන් අවස්ථාවේ පටන් එතෙක් භාවිතයේ පැවති සාමාන්‍ය කැමරා භාවිතයෙන් ඉවත් කෙරුණි. ඊට හේතු වූයේ කැමරා සහිත ජංගම දුරකථන භාවිතයේ සහ රැගෙන යාමේදී පවතින පහසුවයි. 

නූතන සොයා ගැනීම් වලට අනුව කැමරාව නිපදවූ අවදියේ සිටම මිනිසුන් තම ඡායාරූප තමා විසින්ම ගැනීමේ කලාවේ නිරතව ඇත. නමුත් ඊට සෙල්ෆි යන නම ලැබී ඇත්තේ මෑතකදී ය .වර්තමානයේ සෙල්ෆි සදහාම හදුන්වා දෙන කැමරා, දුරකථන වල පවතී. අතීතයේ පැවති දුරකථනය හෝ කැමරාව අනෙත් අත හරවමින් ඡුායාරූප ලබා ගැනීමේ අපහසු ක‍්‍රියාවලිය වර්තමාන සමාජයෙන් තුරන්ව ඇත. ඒ වෙනුවට පහසුවෙන් තම නිර්මාණශීලීත්වය යොදමින් කලාත්මක ඡායාරූප ගැනීමේ හැකියාව වර්තමාන තාරුණ්‍යයට හිමිව ඇත. සෙල්ෆි ඡායාරූප හේතුවෙන් ලැබී ඇති තවත් වාසියක් වන්නේ සමූහ ඡායාරූප එමගින් ලබා ගැනීමේ ඇති හැකියාවයි. එය Group selfi ලෙස හදුන්වයි. 

ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෙල්ෆි ලොව පුරා මානසික රෝගින් බිහි කරන්නක් බවට අනාවරණය විය. ඔවුන්ට අනුට සෙල්ෆි ගැනීම හේතුවෙන් මිනිස් මනස ව්‍යාධි සහගත තත්ත්වයට පත්වේ. එමෙන්ම මේ රෝගයේ අවස්ථා 03ක් පවතී. රෝගයේ මූලාරම්භක අවධියේ සෙල්ෆි ඡායාරූප සමාජ ජාල සදහා මුදා නොහැරෙන අතර ඒවා බලා සෑහීමට පත්වීම පමණක් සිදුවේ. රෝගයේ දෙවැනි අදියර වන විට දිනකට සෙල්ෆි ඡායාරූප විශාල සංඛ්‍යාවක් ලබා ගෙන ඉන් කිහිපයක් සමාජ ජාල වෙත මුදා හැරේ. රෝගයේ දරුණුම අවස්ථාවේ සෙල්ෆි ගැනීමේ සීමාව ඉක්මවන අතර දිනකට සෙල්ෆි බොහෝ ප‍්‍රමාණයක් සමාජ ජාල වෙත මුදා හරීයි. 
මිනිස් දිවි පෙවෙත උඩු යටිකුරු කිරීමට සෙල්ෆියට හැකිව තිබේ. වර්තමානයේ විවිධ නම්වලින් හදුන්වන සෙල්ෆි පවතී. පොල්ෆි යනුවෙන් කා අතරත් ජනප‍්‍රිය වන්නේ මාර්ග නීති කඩ කර දඩ නියම වූ අවස්ථා වලදී ලබා ගන්නා ඡායාරූපයි. වර්තමානය වන විට කාන්තාවන් අතර ජනප‍්‍රිය වන්නේ wash room ය. ශරීර කෘත්‍ය සිදු කරමින් සෙල්ෆි ලබා ගෙන එය සමාජ ජාල වෙතට මුදා හැරීමට තරම් වල්මත් වූ සමාජයක් බිහි කරන්නට සෙල්ෆියට හැකිව ඇත. අවදානම් ස්ථානවල ගන්නා සෙල්ෆිද ඉතා ජනප‍්‍රියය. නමුත් තම ජීවිතය අවදානමට ලක් කර සෙල්ෆි ගැනීම අනතුරුදායක මෙන්ම මෝඩ ක‍්‍රියාවකි. 

සෙල්ෆි උන්මාදය හේතුවෙන් මනුෂ්‍යත්වයද පසෙකලා ඇතැමුන් කටයුතු කරයි. ඊට හොදම නිදර්ශනය පසුගිය ආපදා කාලයේ දැකගත හැකි විය. විපතව පත් වූවන්ට ආධාර බෙදමින්, ගංවතුර අවස්ථාවේ එහි සිටිමින් ලබා ගත් සෙල්ෆි පසුගිය අවධියේ මුහුණු පොතේ සැරිසරන්නට විය. 






සෙල්ෆි යනු කලාවකි. නමුත් සෙල්ෆි උන්මාදය නම් ඝණ අන්ධකාරයේ නොගිලී යථාර්ථයට අනුව දිවි ගෙවීම ඔබෙත් මගෙත් හිත සුව පිණිස හේතු වේ.

ඔබ එනතුරා

අද හෙටම ඔබ එතැයි
මගේ සිත කියනවා
කොපුල් මත හෙමි හෙමින් 
කදුළු බිදු ගලනවා
පිං මදිව මේ සසරෙ මං ඔහේ දුවනවා


Saturday, July 9, 2016

පන් පැදුරෙන් විස්කම්පාන අපේ කාලේ කිරි අම්මා


අතීතයේ  ඕනෑම ගැමි ලියකට පන් පැදුරක් වට්ටියක් වියා ගැනීමේ හැකියාව තිබුනා සේම ගං ගොඩැල්ලේ වගුරු බිම් වල මෙන්ම පාළුවට ඇරුණු වෙල් යායවලද  ඕනෑ තරම් පන් වර්ගද තිබුණි.නමුත් අද පන් විවීමේ දක්ෂයෝ නැතුවා සේම ඉස්සර මෙන් පන් වර්ගද අද සොයා ගැනීම අපහසුය.කාලයත් සමග පන් කර්මාන්තය වියැකී ගියත් ඈත පිටිසර ගම් වල නම්  පැදුරු වියන්නියන් නැතුවාම නොවේ.

එවන් පැදුරු වියන්නියක් සොයා ගෙන මම උඩුගම්පොළ දොරණාගොඩ ප‍්‍රදේශයට ගිය ගමනකදි හීන් අම්මා අප සමග බෙදා ගත් තොරතුරුයි මේ ලිපියෙන් මෙතැන් පටන් දිග හැරෙන්නේ.

‘‘මං දන්න කාලෙ ඉදලම අම්ම පැදුරු වියනවා.අපි පාඩම් වැඩ කරනකොට අම්මා කුප්පි ලාම්පු එළියෙන් පැදුරු වියනව.අම්මට රටා පැදුරු, වට්ටි, පෙට්ටි, මාගල්, අතුල්පත්, ආනවල්, පට මළු වියන්නත්  මුසුන්න, ඉලපත්, කිරිගොට්ට, ඉ`දල් බදින්නත් පුළුවන්.ඉස්සර නම් අම්ම මේව විකුණන්න නෙවේ හැදුවෙ ගෙදර පාවිච්චියට.දැන් මේ ගමේ හුගක් අයගෙ ඉල්ලූම නිසයි අම්ම මේවා විකුණන්නේ.මේ ගමේ නම් මං දන්න තරමින් පැදුරු වියන්න දන්න කෙනෙක් නෑ.ඒත් අපේ අම්මගේ උපන් ගම ඒ කිව්වේ කෑගල්ල බෝකොළමුල්ලෙ නම් පැදුරු වියන්න පුළුවන් ගෑණු  ඕනෑ තරම් හිටියා’’

මාලනී අප හා පැවසුවේ ඇගේ මව පිළිබදව ආඩම්බරයකිනි.අපේ කතා නායිකාව වන හීන් අම්මා රත්නායක මේ ප‍්‍රදේශයේ මුල් පදිංචිකාරියක් නම් නොවේ.ඇගේ බාල දියණියගේ නිවසේ මේ වන විට දිවි ගෙවන ඈ ධෛර්යය සම්පන්න මාතාවක්.අවුරුදු 72ක් වයස හීන් අම්මා  තවමත් නිරෝගී කාන්තාවක්.ඉස්කෝලෙ 6 පන්තියට පමණක් ඈ ඉගෙන ගත් බව පැවසුවත් දෑතේ හැකියාව නම් හරි අපූරුවට ඇයට පිහිටල තියෙන බවට ඇගේ නිර්මාණ සාක්ෂි දරනව.

අතීතයෙ සෑම ගෙදරකම පාහෙ පැදුරු වට්ටි පෙට්ටි ආදීය තිබිණි.නමුත් වර්තමාන නිවෙස්වල ඒ සදහාම වූ ආදේශක භාණ්ඩ භාවිතයට ගැනේ.අද රටේ පැදුරු වියන්නියො එතරම් නොසිටින අතරම ඇතැමෙක් මෙම හැකියාව පහත් තත්ත්වයේ ලා සලකති.පැදුර පමණක් නොවේ අතීත ගම ගෙදර වට්ටි, පෙට්ටි, මළු, ඇතුළු පත් ආදීය විව්වෙත් පන් වලිනි.තුන්හිරියා පන්, ගල්ලැහැ, පොල් කොළ, තල කොළ, දුනකෙය ආදීය එදා ගමේ අස්සක් මුල්ලක් නෑරම විය.එනිසාම ඒවා සොයා ගැනීම අපහසු වුයේ නැත.නමුත් අද පැරණි ගම නාගරීකරණට හසුව තිබෙන නිසා පොල් කොළ හැරෙන්නට අනෙක් කොළ වර්ග නම් සොයා ගැනීම අපහසුයි.
බොහෝ විට මුළුතැන්ගෙයි බත් ටික අහුරා ගන්නට යොදා ගත්තේ ගෙදරම වියා ගන්නා අතුල්පතයි.ගැමි නිවෙස් වල කාන්තාව සහ දරුවන් නිදා ගැනීමට යොදා ගත්තේ ප`දුරයි.මුළුතැන්ගෙයි හැදි, වියා ගත් පැදුරු වට්ටි පෙට්ටි ර`දවා තැබීමට ආනවල් කිහිපයක්ම විය.ගොයම් වැඩ වලදී වී වේලීමට අවශ්‍ය මාගල්, ඇඹුල රැුගෙන යන පෙට්ටි, පිගන් වෙනුවට භාවිත කළ අතුල් පත්, වී දැමීමට යොදා ගත් පට මළු ආදීය වියා ගත්තේ නිවසේ වෙසෙන ගැමි කාන්තාවයි.අද නම් මේ කිසිවක් බොහෝ නිවෙස් වල දැක ගන්නට නොවුනද හීන් අම්මාගේ නිවසේ වෙසෙන ඇගේ මුණුබුරන් මේවා දැක ගැනීමට තරම් වාසනාවන්තය.තවමත් පන් ආශ‍්‍රිත නිශ්පාදන වලට ප‍්‍රදේශයේ පවතින ඉල්ලූම නිසාවෙන් ඇය මින් ලාභයකටත් වඩා ආත්ම තෘප්තියක් ලබයි.

‘‘මම පැදුරු වියන්න ඉගෙන ගත්තෙ මගෙ අම්මගෙන්.එතකොට මට අවුරුදු 12ක් විතර ඇති.මගෙ කිරි අම්මල වගේම මගෙ නැන්දම්මත් වියමන් මට හුරු කළා.ඉස්සර වගේ දැන් මට පන් කපන්න යන්න බෑ.ඉතිං මගේ දුවයි බෑණයි පන් ටික, දුනකෙයා කොළ ටික, තල බොඩ මට කපල ගෙනත් දෙනව.ඊට අමතරව ටයිල් පටි වලිනුත් මං වට්ටි වියනව.ඒත් වැඩිපුරම ඉල්ලූම තියෙන්නෙ ස්භාවික අමුද්‍රව්‍ය වලින්ම වියන පැදුරු වට්ටි වලට.’’
පැදුරු වට්ටි විවීමට පන්, දුනකෙයා ආදිය කපන්න ගැහැණු තනිවම ගියේ නැහැ.යම් මත හො විශ්වාස හේතුවෙන් එය තනි ගැහැණුන්ට තහනම් කාර්යයක් වූවා.කපාගෙන ආ පන් අග මුල සුද්ධ කර දිනක් පමණ තද අව්වේ වේලා ගැනීම සිදු කරයි.තවත් දින 3ක් පමණ මද පවනේ වේලා කොටස් වශයෙන් එක් කර ඒවා බැද තබයි. එය හදුන්වන්නේ කට්ට කට්ට බදිනවා යනුවෙනි.ඉන් අනතුරුව පන් ඉරා සායම් පෙගවීම සිදු කරයි.මේ සදහා අතීතයේ නම් පත`ගි නම් ශාකය තම්බා කොටා ගත් පසු ලැබෙන කහට පැහැය යොදා ගත් අතර අද භාවිත කරන්නේ කුකුල් සායම්ය.සායම් පොවන ලද පන් එකිනෙක ගෙන අලංකාර රටා දමමින් පැදුරු වියන්නේ ඉන් අනතුරුවයි.අපේ කතා නායිකාව පැදුරු සදහා රටා කිහිපයක්ම භාවිත කරයි.පන්නං පියුං, සමදරා මල්, පනා ලෑලි, හරස් රටාව, තාරුකා ආදීය ඒවායින් කිහිපයකි.
‘‘තුන්හිරිය පැදුරක් වියන්න මට දවස් 15ක් විතර යනවා. ඒත් දුනකෙය පැදුරක් එක දවසෙන් වීයැහැකි. වට්ටි පෙට්ටිත් එක දවසෙන් වියල හමාර කළෑකි. මාගලක් වියන්න නම් අඩුම මාසයක්වත් යනව. මේ ඔක්කොම මං කරන්නේ ගෙදර වැඩ කරන අතරෙමයි. ගෙදරට අවශ්‍ය කරන එළවළු ටික වවන්නෙත් මමමයි.මේ වියන කටයුතු වලට මගෙ මුණුබුරා හරි උනන්දුවෙන් උදව් කරනව.මගෙ දරුවොත් මේ කර්මාන්තෙට හුරු වුන් නැති එකේ මගෙ මුණුබුරන්ටවත් මේ වියමන් උගන්නයි මගේ බලාපොරොත්තුව.’’

මේ සියල්ල පවසන අතරෙත් හීන් අම්ම හරි අපූරුවට පැ`දුර ගැන කවියක් කියමින් පැ`දුරකට රටා දමනව.

ඉන්ගන් නොදැන ඇයි මැසිවිලි  කියන්නේ 
පන්නන් බැරි ගෑණු කුමටද රැුකෙන්නේ
ගං ගං වල ඇවි`ද රැුකුණද       බොලන්නේ
පැදුර දෙන්ඩ මං වාලිද කියපන්නේ

‘‘මං වියන සාමාන්‍ය ප‍්‍රමාණයේ වට්ටියක් රුපියල් 200 වෙනව.පියවර 18 ක් දිග පියවර 6ක් පළල මාගලක් රුපියල් 5000ක් වෙනව.කඬේ මිළ නම් මීට ඉහළයි.ඒත් මට මේ විවිල්ල හරියට භාවනාවක් වගේ.ලෙඩක් දුකක් නැතුව ඉන්න හොද ව්‍යායාමයක් මේ කර්මාන්තෙ.අද ඉන්න ගෑණු හැමදේම පහසුවට කර ගන්නයි බලන්නේ.මුදලට වහල් වෙලා වැඩක් පලක් නොකර අන්තිමට ලෙඞ්ඩු වෙනව.ඉස්සර නැන්දම්මල පොල් කොළ ටිකක් සුද්ධ කරල මොකුත් නොකියම තියල ගියොත් ලේලි දැනගන්න  ඕන නැන්දම්ම එන්න කළියෙන් ඒකෙන් වට්ටියක්වත් වියල තියන්න.ඒත් අද දරුවන්ට ඔය මොකවත් බෑ අපි ඉස්කෝලේ යන කාලෙ මහන්න ගොතන්න ඉදල් කොසු බදින්න පැදුරක් වියාගන්න ඒවයෙ ඉගැන්නුව.අද ළමයින්ට ඒව උගන්න තරම් කෙනෙක්වත් නෑ.’’  

අනාදිමත් කාලයක සිට මේ වියමන් ගැමි නිවෙස්වලට සේවාවන් රැසක් ඉටු කර දුන්නේ පරිසර දූෂණයක් නොවන අන්දමිනි.නමුත් අද ඒ වෙනුවට භාවිත කරන ආදේශක භාණ්ඩ පරිසරයට තර්ජනයක්වනවා සේම වැඩි කාලයක් භාවිත කිරීමටද නොහැකි ඒවායි.තම දෛනික අවශ්‍යතාවයන් සදහා පහසුවෙන් සපයා ගත් ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිර්මිත මේ සොදුරු ගෘහ කර්මාන්තය අනාගත පරපුරට උරුම කිරීම අපේ වගකීමක්.නමුත් ඊට අවැසි ප‍්‍රතිපාදන හා නිර්දේශයන් සැපයීම පාලකයන්ගේ මෙන්ම වගකිවයුත්තන්ගේ කාර්යයක්. 


Friday, July 8, 2016

සුරුට්ටුව

               අම්මා ගෙනැවිත් දුන් කහට කෝප්පය සීනි ඇබින්දක් සමඟ තොල ගාන්නට අප්පච්චී පටන් ගත්තේය. මල්ලීද මමද කාමරයේ දොර රෙද්ද මෑත් කර ආලින්දයේ අැදි පුටුවේ වාඩි වී සිටින අප්පච්චී දෙස බලා සිටියේය. ආලින්දයේ ඉද ගත් විට එක් වරම දෑස් යොමු වන්නේ මද පවනේ රැලි නගමින් ලාලිත්‍යයට නැටවෙන බණ්ඩි ගොයම් කරල් දෙසටය. මා මෙන්ම අප්පච්චීද එදෙස බලා සිට නිරාමිස සුවයක් විදිනු ඇතැයි මට සිතුණි.
        වැඩි වේලාවක් යන්නට මත්තෙන් කහට කෝප්පය හිස් කළ අප්පච්චී ගෙතුළ අම්මා පෙනෙන්නට ඇත්දැයි විපරම් කරන්නට විය. සැනෙකින් මල්ලීද මමද දොර රෙද්දට මුවා වූයේ ඔහුගේ නෙත ගැටේ යැයි බියෙනි. යළිත් ඇදි පුටුවට බර දුන් අප්පච්චී සුරුට්ටුවක් දල්වා ගත්තේය.
‍‍
අප්පච්චිට ගින්දරත් බොන්න පුළුවන්ද අයියේ?  

මල්ලී මගෙන් කොදුරා ඇසුවේය. 

හ්ම් තව ටිකකින් අඟුරු කෝච්චියෙ දුම් පාරත් අපට බලා ගන්න පුළුවන් 
 මම මල්ලීට කොදුරා කීවෙමි.
              
සැබැවින්ම අප්පච්චීගේ සුරුට්ටු බීමේ ක්‍රියාවලිය හේතුවෙන් අප තුළ ඔහු කෙරෙහි ආඩම්බරයක් ඇති කෙරිණි. අප්පච්චී හිස් කළ තේ කෝප්පය රැගෙන යාමට අම්මා ගෙතුළ සිට පිවිසියාය. 
අනේ ඇත්තට මේ මිනිහට තාම මේ ජරා පුරුද්ද අත් ඇරගන්න බැරි වුනානේ, මෙහෙම ගියොත් මේ පොඩි උන් දෙන්න හදා ගන්න වෙන් නෑ
කියමින් ඉස්තෝප්පුවේ සිටම අම්මා බැණ වැදුණාය.

ඒ වදන් ගණනකටවත් නොගත් අප්පච්චී තම පළමු දුම් පහර පිට කළේය.
කොහෙද ඉතිං බීරි අලින්ට වීණා වයනව වගේනෙ මං කියන ඒව, කියන දේ අහන් නැති මිනිහ ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි 

කියමින් අම්මා හිස් කෝප්පයත් අතැතිව කුස්සියට ඇදුණාය.

මටත් ආසයි අප්පච්චි වගේ සුරුට්ටුවක් පත්තු කරල දුම් පාරක් අරින්න. ඒත් ඉතිං අප්පච්චිට හරි අම්මට හරි අහු වුනොත් වේවැල් පාර තමයි

මම යටි සිතින් සිතා ගතිමි.
ළමයිනේ දැන් ඇදිරි වැටී ගෙන එනව බුදු පහන පත්තු කරල හෙට ඉස්කෝලෙ යන්න පොත් පත් ටික අහුර ගනිල්ල
අම්මා කීවාය.
             මල්ලී සමග මම පහනට තෙල් දමා දල්වා මල් පූජා කර පන්සිල් ගන්නට විය. එසේ වුවද මගේ සිතට වද දුන්නේ කොහොමද  සුරුට්ටුවක් පත්තු කරල බොන්නේ කියාය. මම ඒ සදහා උපායක් කල්පනා කළෙමි. 

හෙට ඉස්කෝලෙ ගිහින් එන ගමන් කඩමණඩියෙ සාලොං මාමගෙ කඩෙන් අප්පච්චිට යැයි කියා සුරුට්ටුවක් ඉල්ලන් එනව යැයි මම තීරණය කළෙමි. 
ඒත් ඉතිං ඒකට තව කොච්චර වෙලා ඉවසන්නද? 
එදින මට නින්ද ගියේද කඩින් කඩය .
     පසුදාට පහන් විය. සුපුරුදු පරිදි මල්ලීද මමද පාසල් ගියෙමු. පාසල් වැඩ වලට නිසි ලෙස සිත යොමන්නට නොහැකි වීමෙන් මා ඉස්කෝලෙ හාමිනේගෙන් වේවැල් පහර කිහිපයක්ම කෑවෙමි. පාසල නිම වීමෙන් පසු විමලේ සමග අඹ කඩන්නට යනවාය කියා මල්ලීව ගෙදර යැවූ මම කඩමණ්ඩිය දෙසට දිව ගියෙමි. මා සාලොං මාමාගෙන්  සුරුට්ටුවක් ඉල්ලූ විට ඔහු මාගෙන් විමසුවේ 
මොකෝ අප්පච්චිට අසනීපයක් ද?කියාය. නැතැයි, කියූ මම යළි නිවස බලා ආවෙමි.
            අප්පච්චී කුඹුරට යන තෙක් උන් මම නිවසේ පිටුපස පිදුරු මඩුවට වසන් වී සුරුට්ටුව දල්වා ගැනීමට ගිනිකුර ගසත්ම අම්මා රත්තීට තණකොළ ගෙනැවිත් දමන්නට එතැනට පැමිණියාය. 

හා හා ඔය මොකද කරන්නේ උඹ ඔය පිදුරු මඩුව අවුලන්නද තනන්නේ?
 යැයි ඛෙරිහන් දෙන්නට විය. 

අනේ පුතේ අප්පච්චි ඔව්ව කළාට උඹල කවදාවත් ඔව්ව කරන්න එපා. ඒව නරක වැඩ යැයි කියමින් අම්මා මා ළගට විත් හිස අත ගා සුරුට්ටුව පොඩි කර දැමුවාය. 

අප්පච්චිට මේ ගැන කියන්නට එපා යැයි කියමින් මම අම්මා ළග හඩා වැටුණි. මල්ලීද මේ සියල්ල දැක හමාර බව මම දුටුවේ අම්මා මා තුරුලු කර ගත් පසුය. 
           
ඇදිරි වැටෙන විට අප්පච්චී ගෙදර පැමිණියේය. අම්මා කිසිවක් අප්පච්චී හා නොදෙඩුවද මල්ලී වෙච්චි සංහදිය අප්පච්චිගේ කණේ තැබුවේය. මට හීන් දාඩිය දමන්නට විය. අප්පච්චී අම්මා ලවා මට අඩ ගැසුවේය.

ඇත්තද මේ පොඩි එකා කියන්නේ?
 අප්පච්චි අම්මාගෙන් විමසුවේය. ඊට ඈ පිළිතුරු දුන්නේ කෝපයෙනි. 

අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියන්නෙ කට කහනවටයෑ
           
අප්පච්චී මගේ කණ මිරිකා මට තරවටු කරන්නට වූයේ ඉන් පසුය. මල්ලී සතුටින් ඉපිලෙනවා මා නෙතගට හසු වූයේ කදුළු අතරිනි. අප්පච්චී මද වෙලාවක් හිස් අහස දෙස බලා සිටියේය. කළකිරුණු මුහුණින් යුතුව ඔහු හරි මින් පස්සේ මම සුරුට්ටු බොන් නෑ කියා මගේ හිස අතගෑවේය.