පන් පැදුරෙන් විස්කම්පාන අපේ කාලේ කිරි අම්මා
අතීතයේ ඕනෑම ගැමි ලියකට පන් පැදුරක් වට්ටියක් වියා ගැනීමේ හැකියාව තිබුනා සේම ගං ගොඩැල්ලේ වගුරු බිම් වල මෙන්ම පාළුවට ඇරුණු වෙල් යායවලද ඕනෑ තරම් පන් වර්ගද තිබුණි.නමුත් අද පන් විවීමේ දක්ෂයෝ නැතුවා සේම ඉස්සර මෙන් පන් වර්ගද අද සොයා ගැනීම අපහසුය.කාලයත් සමග පන් කර්මාන්තය වියැකී ගියත් ඈත පිටිසර ගම් වල නම් පැදුරු වියන්නියන් නැතුවාම නොවේ.
එවන් පැදුරු වියන්නියක් සොයා ගෙන මම උඩුගම්පොළ දොරණාගොඩ ප‍්‍රදේශයට ගිය ගමනකදි හීන් අම්මා අප සමග බෙදා ගත් තොරතුරුයි මේ ලිපියෙන් මෙතැන් පටන් දිග හැරෙන්නේ.
‘‘මං දන්න කාලෙ ඉදලම අම්ම පැදුරු වියනවා.අපි පාඩම් වැඩ කරනකොට අම්මා කුප්පි ලාම්පු එළියෙන් පැදුරු වියනව.අම්මට රටා පැදුරු, වට්ටි, පෙට්ටි, මාගල්, අතුල්පත්, ආනවල්, පට මළු වියන්නත් මුසුන්න, ඉලපත්, කිරිගොට්ට, ඉ`දල් බදින්නත් පුළුවන්.ඉස්සර නම් අම්ම මේව විකුණන්න නෙවේ හැදුවෙ ගෙදර පාවිච්චියට.දැන් මේ ගමේ හුගක් අයගෙ ඉල්ලූම නිසයි අම්ම මේවා විකුණන්නේ.මේ ගමේ නම් මං දන්න තරමින් පැදුරු වියන්න දන්න කෙනෙක් නෑ.ඒත් අපේ අම්මගේ උපන් ගම ඒ කිව්වේ කෑගල්ල බෝකොළමුල්ලෙ නම් පැදුරු වියන්න පුළුවන් ගෑණු ඕනෑ තරම් හිටියා’’
මාලනී අප හා පැවසුවේ ඇගේ මව පිළිබදව ආඩම්බරයකිනි.අපේ කතා නායිකාව වන හීන් අම්මා රත්නායක මේ ප‍්‍රදේශයේ මුල් පදිංචිකාරියක් නම් නොවේ.ඇගේ බාල දියණියගේ නිවසේ මේ වන විට දිවි ගෙවන ඈ ධෛර්යය සම්පන්න මාතාවක්.අවුරුදු 72ක් වයස හීන් අම්මා තවමත් නිරෝගී කාන්තාවක්.ඉස්කෝලෙ 6 පන්තියට පමණක් ඈ ඉගෙන ගත් බව පැවසුවත් දෑතේ හැකියාව නම් හරි අපූරුවට ඇයට පිහිටල තියෙන බවට ඇගේ නිර්මාණ සාක්ෂි දරනව.
අතීතයෙ සෑම ගෙදරකම පාහෙ පැදුරු වට්ටි පෙට්ටි ආදීය තිබිණි.නමුත් වර්තමාන නිවෙස්වල ඒ සදහාම වූ ආදේශක භාණ්ඩ භාවිතයට ගැනේ.අද රටේ පැදුරු වියන්නියො එතරම් නොසිටින අතරම ඇතැමෙක් මෙම හැකියාව පහත් තත්ත්වයේ ලා සලකති.පැදුර පමණක් නොවේ අතීත ගම ගෙදර වට්ටි, පෙට්ටි, මළු, ඇතුළු පත් ආදීය විව්වෙත් පන් වලිනි.තුන්හිරියා පන්, ගල්ලැහැ, පොල් කොළ, තල කොළ, දුනකෙය ආදීය එදා ගමේ අස්සක් මුල්ලක් නෑරම විය.එනිසාම ඒවා සොයා ගැනීම අපහසු වුයේ නැත.නමුත් අද පැරණි ගම නාගරීකරණට හසුව තිබෙන නිසා පොල් කොළ හැරෙන්නට අනෙක් කොළ වර්ග නම් සොයා ගැනීම අපහසුයි.
බොහෝ විට මුළුතැන්ගෙයි බත් ටික අහුරා ගන්නට යොදා ගත්තේ ගෙදරම වියා ගන්නා අතුල්පතයි.ගැමි නිවෙස් වල කාන්තාව සහ දරුවන් නිදා ගැනීමට යොදා ගත්තේ ප`දුරයි.මුළුතැන්ගෙයි හැදි, වියා ගත් පැදුරු වට්ටි පෙට්ටි ර`දවා තැබීමට ආනවල් කිහිපයක්ම විය.ගොයම් වැඩ වලදී වී වේලීමට අවශ්‍ය මාගල්, ඇඹුල රැුගෙන යන පෙට්ටි, පිගන් වෙනුවට භාවිත කළ අතුල් පත්, වී දැමීමට යොදා ගත් පට මළු ආදීය වියා ගත්තේ නිවසේ වෙසෙන ගැමි කාන්තාවයි.අද නම් මේ කිසිවක් බොහෝ නිවෙස් වල දැක ගන්නට නොවුනද හීන් අම්මාගේ නිවසේ වෙසෙන ඇගේ මුණුබුරන් මේවා දැක ගැනීමට තරම් වාසනාවන්තය.තවමත් පන් ආශ‍්‍රිත නිශ්පාදන වලට ප‍්‍රදේශයේ පවතින ඉල්ලූම නිසාවෙන් ඇය මින් ලාභයකටත් වඩා ආත්ම තෘප්තියක් ලබයි.
‘‘මම පැදුරු වියන්න ඉගෙන ගත්තෙ මගෙ අම්මගෙන්.එතකොට මට අවුරුදු 12ක් විතර ඇති.මගෙ කිරි අම්මල වගේම මගෙ නැන්දම්මත් වියමන් මට හුරු කළා.ඉස්සර වගේ දැන් මට පන් කපන්න යන්න බෑ.ඉතිං මගේ දුවයි බෑණයි පන් ටික, දුනකෙයා කොළ ටික, තල බොඩ මට කපල ගෙනත් දෙනව.ඊට අමතරව ටයිල් පටි වලිනුත් මං වට්ටි වියනව.ඒත් වැඩිපුරම ඉල්ලූම තියෙන්නෙ ස්භාවික අමුද්‍රව්‍ය වලින්ම වියන පැදුරු වට්ටි වලට.’’
පැදුරු වට්ටි විවීමට පන්, දුනකෙයා ආදිය කපන්න ගැහැණු තනිවම ගියේ නැහැ.යම් මත හො විශ්වාස හේතුවෙන් එය තනි ගැහැණුන්ට තහනම් කාර්යයක් වූවා.කපාගෙන ආ පන් අග මුල සුද්ධ කර දිනක් පමණ තද අව්වේ වේලා ගැනීම සිදු කරයි.තවත් දින 3ක් පමණ මද පවනේ වේලා කොටස් වශයෙන් එක් කර ඒවා බැද තබයි. එය හදුන්වන්නේ කට්ට කට්ට බදිනවා යනුවෙනි.ඉන් අනතුරුව පන් ඉරා සායම් පෙගවීම සිදු කරයි.මේ සදහා අතීතයේ නම් පත`ගි නම් ශාකය තම්බා කොටා ගත් පසු ලැබෙන කහට පැහැය යොදා ගත් අතර අද භාවිත කරන්නේ කුකුල් සායම්ය.සායම් පොවන ලද පන් එකිනෙක ගෙන අලංකාර රටා දමමින් පැදුරු වියන්නේ ඉන් අනතුරුවයි.අපේ කතා නායිකාව පැදුරු සදහා රටා කිහිපයක්ම භාවිත කරයි.පන්නං පියුං, සමදරා මල්, පනා ලෑලි, හරස් රටාව, තාරුකා ආදීය ඒවායින් කිහිපයකි.
‘‘තුන්හිරිය පැදුරක් වියන්න මට දවස් 15ක් විතර යනවා. ඒත් දුනකෙය පැදුරක් එක දවසෙන් වීයැහැකි. වට්ටි පෙට්ටිත් එක දවසෙන් වියල හමාර කළෑකි. මාගලක් වියන්න නම් අඩුම මාසයක්වත් යනව. මේ ඔක්කොම මං කරන්නේ ගෙදර වැඩ කරන අතරෙමයි. ගෙදරට අවශ්‍ය කරන එළවළු ටික වවන්නෙත් මමමයි.මේ වියන කටයුතු වලට මගෙ මුණුබුරා හරි උනන්දුවෙන් උදව් කරනව.මගෙ දරුවොත් මේ කර්මාන්තෙට හුරු වුන් නැති එකේ මගෙ මුණුබුරන්ටවත් මේ වියමන් උගන්නයි මගේ බලාපොරොත්තුව.’’
මේ සියල්ල පවසන අතරෙත් හීන් අම්ම හරි අපූරුවට පැ`දුර ගැන කවියක් කියමින් පැ`දුරකට රටා දමනව.
ඉන්ගන් නොදැන ඇයි මැසිවිලි කියන්නේ
පන්නන් බැරි ගෑණු කුමටද රැුකෙන්නේ
ගං ගං වල ඇවි`ද රැුකුණද බොලන්නේ
පැදුර දෙන්ඩ මං වාලිද කියපන්නේ
‘‘මං වියන සාමාන්‍ය ප‍්‍රමාණයේ වට්ටියක් රුපියල් 200 වෙනව.පියවර 18 ක් දිග පියවර 6ක් පළල මාගලක් රුපියල් 5000ක් වෙනව.කඬේ මිළ නම් මීට ඉහළයි.ඒත් මට මේ විවිල්ල හරියට භාවනාවක් වගේ.ලෙඩක් දුකක් නැතුව ඉන්න හොද ව්‍යායාමයක් මේ කර්මාන්තෙ.අද ඉන්න ගෑණු හැමදේම පහසුවට කර ගන්නයි බලන්නේ.මුදලට වහල් වෙලා වැඩක් පලක් නොකර අන්තිමට ලෙඞ්ඩු වෙනව.ඉස්සර නැන්දම්මල පොල් කොළ ටිකක් සුද්ධ කරල මොකුත් නොකියම තියල ගියොත් ලේලි දැනගන්න ඕන නැන්දම්ම එන්න කළියෙන් ඒකෙන් වට්ටියක්වත් වියල තියන්න.ඒත් අද දරුවන්ට ඔය මොකවත් බෑ අපි ඉස්කෝලේ යන කාලෙ මහන්න ගොතන්න ඉදල් කොසු බදින්න පැදුරක් වියාගන්න ඒවයෙ ඉගැන්නුව.අද ළමයින්ට ඒව උගන්න තරම් කෙනෙක්වත් නෑ.’’
අනාදිමත් කාලයක සිට මේ වියමන් ගැමි නිවෙස්වලට සේවාවන් රැසක් ඉටු කර දුන්නේ පරිසර දූෂණයක් නොවන අන්දමිනි.නමුත් අද ඒ වෙනුවට භාවිත කරන ආදේශක භාණ්ඩ පරිසරයට තර්ජනයක්වනවා සේම වැඩි කාලයක් භාවිත කිරීමටද නොහැකි ඒවායි.තම දෛනික අවශ්‍යතාවයන් සදහා පහසුවෙන් සපයා ගත් ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිර්මිත මේ සොදුරු ගෘහ කර්මාන්තය අනාගත පරපුරට උරුම කිරීම අපේ වගකීමක්.නමුත් ඊට අවැසි ප‍්‍රතිපාදන හා නිර්දේශයන් සැපයීම පාලකයන්ගේ මෙන්ම වගකිවයුත්තන්ගේ කාර්යයක්.
1 comment:
පුළුවන්නම් මට මේ වගේ නිශ්පාදන කරන අයගේ දුරකථන අංක කීපයක් හොයල 0710884593
Post a Comment