Friday, July 8, 2016

සුරුට්ටුව

               අම්මා ගෙනැවිත් දුන් කහට කෝප්පය සීනි ඇබින්දක් සමඟ තොල ගාන්නට අප්පච්චී පටන් ගත්තේය. මල්ලීද මමද කාමරයේ දොර රෙද්ද මෑත් කර ආලින්දයේ අැදි පුටුවේ වාඩි වී සිටින අප්පච්චී දෙස බලා සිටියේය. ආලින්දයේ ඉද ගත් විට එක් වරම දෑස් යොමු වන්නේ මද පවනේ රැලි නගමින් ලාලිත්‍යයට නැටවෙන බණ්ඩි ගොයම් කරල් දෙසටය. මා මෙන්ම අප්පච්චීද එදෙස බලා සිට නිරාමිස සුවයක් විදිනු ඇතැයි මට සිතුණි.
        වැඩි වේලාවක් යන්නට මත්තෙන් කහට කෝප්පය හිස් කළ අප්පච්චී ගෙතුළ අම්මා පෙනෙන්නට ඇත්දැයි විපරම් කරන්නට විය. සැනෙකින් මල්ලීද මමද දොර රෙද්දට මුවා වූයේ ඔහුගේ නෙත ගැටේ යැයි බියෙනි. යළිත් ඇදි පුටුවට බර දුන් අප්පච්චී සුරුට්ටුවක් දල්වා ගත්තේය.
‍‍
අප්පච්චිට ගින්දරත් බොන්න පුළුවන්ද අයියේ?  

මල්ලී මගෙන් කොදුරා ඇසුවේය. 

හ්ම් තව ටිකකින් අඟුරු කෝච්චියෙ දුම් පාරත් අපට බලා ගන්න පුළුවන් 
 මම මල්ලීට කොදුරා කීවෙමි.
              
සැබැවින්ම අප්පච්චීගේ සුරුට්ටු බීමේ ක්‍රියාවලිය හේතුවෙන් අප තුළ ඔහු කෙරෙහි ආඩම්බරයක් ඇති කෙරිණි. අප්පච්චී හිස් කළ තේ කෝප්පය රැගෙන යාමට අම්මා ගෙතුළ සිට පිවිසියාය. 
අනේ ඇත්තට මේ මිනිහට තාම මේ ජරා පුරුද්ද අත් ඇරගන්න බැරි වුනානේ, මෙහෙම ගියොත් මේ පොඩි උන් දෙන්න හදා ගන්න වෙන් නෑ
කියමින් ඉස්තෝප්පුවේ සිටම අම්මා බැණ වැදුණාය.

ඒ වදන් ගණනකටවත් නොගත් අප්පච්චී තම පළමු දුම් පහර පිට කළේය.
කොහෙද ඉතිං බීරි අලින්ට වීණා වයනව වගේනෙ මං කියන ඒව, කියන දේ අහන් නැති මිනිහ ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි 

කියමින් අම්මා හිස් කෝප්පයත් අතැතිව කුස්සියට ඇදුණාය.

මටත් ආසයි අප්පච්චි වගේ සුරුට්ටුවක් පත්තු කරල දුම් පාරක් අරින්න. ඒත් ඉතිං අප්පච්චිට හරි අම්මට හරි අහු වුනොත් වේවැල් පාර තමයි

මම යටි සිතින් සිතා ගතිමි.
ළමයිනේ දැන් ඇදිරි වැටී ගෙන එනව බුදු පහන පත්තු කරල හෙට ඉස්කෝලෙ යන්න පොත් පත් ටික අහුර ගනිල්ල
අම්මා කීවාය.
             මල්ලී සමග මම පහනට තෙල් දමා දල්වා මල් පූජා කර පන්සිල් ගන්නට විය. එසේ වුවද මගේ සිතට වද දුන්නේ කොහොමද  සුරුට්ටුවක් පත්තු කරල බොන්නේ කියාය. මම ඒ සදහා උපායක් කල්පනා කළෙමි. 

හෙට ඉස්කෝලෙ ගිහින් එන ගමන් කඩමණඩියෙ සාලොං මාමගෙ කඩෙන් අප්පච්චිට යැයි කියා සුරුට්ටුවක් ඉල්ලන් එනව යැයි මම තීරණය කළෙමි. 
ඒත් ඉතිං ඒකට තව කොච්චර වෙලා ඉවසන්නද? 
එදින මට නින්ද ගියේද කඩින් කඩය .
     පසුදාට පහන් විය. සුපුරුදු පරිදි මල්ලීද මමද පාසල් ගියෙමු. පාසල් වැඩ වලට නිසි ලෙස සිත යොමන්නට නොහැකි වීමෙන් මා ඉස්කෝලෙ හාමිනේගෙන් වේවැල් පහර කිහිපයක්ම කෑවෙමි. පාසල නිම වීමෙන් පසු විමලේ සමග අඹ කඩන්නට යනවාය කියා මල්ලීව ගෙදර යැවූ මම කඩමණ්ඩිය දෙසට දිව ගියෙමි. මා සාලොං මාමාගෙන්  සුරුට්ටුවක් ඉල්ලූ විට ඔහු මාගෙන් විමසුවේ 
මොකෝ අප්පච්චිට අසනීපයක් ද?කියාය. නැතැයි, කියූ මම යළි නිවස බලා ආවෙමි.
            අප්පච්චී කුඹුරට යන තෙක් උන් මම නිවසේ පිටුපස පිදුරු මඩුවට වසන් වී සුරුට්ටුව දල්වා ගැනීමට ගිනිකුර ගසත්ම අම්මා රත්තීට තණකොළ ගෙනැවිත් දමන්නට එතැනට පැමිණියාය. 

හා හා ඔය මොකද කරන්නේ උඹ ඔය පිදුරු මඩුව අවුලන්නද තනන්නේ?
 යැයි ඛෙරිහන් දෙන්නට විය. 

අනේ පුතේ අප්පච්චි ඔව්ව කළාට උඹල කවදාවත් ඔව්ව කරන්න එපා. ඒව නරක වැඩ යැයි කියමින් අම්මා මා ළගට විත් හිස අත ගා සුරුට්ටුව පොඩි කර දැමුවාය. 

අප්පච්චිට මේ ගැන කියන්නට එපා යැයි කියමින් මම අම්මා ළග හඩා වැටුණි. මල්ලීද මේ සියල්ල දැක හමාර බව මම දුටුවේ අම්මා මා තුරුලු කර ගත් පසුය. 
           
ඇදිරි වැටෙන විට අප්පච්චී ගෙදර පැමිණියේය. අම්මා කිසිවක් අප්පච්චී හා නොදෙඩුවද මල්ලී වෙච්චි සංහදිය අප්පච්චිගේ කණේ තැබුවේය. මට හීන් දාඩිය දමන්නට විය. අප්පච්චී අම්මා ලවා මට අඩ ගැසුවේය.

ඇත්තද මේ පොඩි එකා කියන්නේ?
 අප්පච්චි අම්මාගෙන් විමසුවේය. ඊට ඈ පිළිතුරු දුන්නේ කෝපයෙනි. 

අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියන්නෙ කට කහනවටයෑ
           
අප්පච්චී මගේ කණ මිරිකා මට තරවටු කරන්නට වූයේ ඉන් පසුය. මල්ලී සතුටින් ඉපිලෙනවා මා නෙතගට හසු වූයේ කදුළු අතරිනි. අප්පච්චී මද වෙලාවක් හිස් අහස දෙස බලා සිටියේය. කළකිරුණු මුහුණින් යුතුව ඔහු හරි මින් පස්සේ මම සුරුට්ටු බොන් නෑ කියා මගේ හිස අතගෑවේය.





                              
             

4 comments: