ගිය වර පද මිහිර ලිපි පෙළ ආරම්භ කළේ අත ගැන ලියලනේ. ඉතින් මේ පාර මොන පදේ ගැනද ලියන්නේ ලියල මම හිත හිත ඉන්නකොට දෙවරක් නොහිතම හිත ගැන ලියන්න හිතුවා. හිත ඇත්නම් පත කුඩාද කිව්වලූනේ. ඒත් ඉතිං හිත ගිය තැන මාළිගාව කියලත් මතක තියා ගන්න. සමහරු සමහරුන්ගේ හිත ගන්න නොකරන දෙයක් නෑ. ඒත් එක හිතක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඕං එහෙම කිව්ව කියල හිත නරක් කර ගන්න එපා. සමහරු ඉන්නවනේ හිතේ තියෙන දේ පිටට නොපෙන්වන. ඒත් තවත් සමහරු හිතවත්කම් වැඩි වුණාම හිතේ තියෙන ඔක්කොම එළියට දානව.
බවලත් පාර්ශවේ උදවිය සාප්පු සවාරි ගිහිං හිතේ හැටියට බඩු අරං බිල දැක්කම කියනවනේ මං හිතුවේ නෑ එච්චර වෙයි කියල. අපි පොඩි පොඩි දේවල් හිතන මේ හිතින් කොච්චර දුරක් යන්න පුලූවන්ද? ඒ වුණාට කැත හිත තියෙන අයට නම් වැඩි දුරක් යන්න බෑ.
ගල් හිත තියෙන කී දෙනෙක් මේ ලිපිය කියවනව ඇත්ද? මේක කියවලවත් ගල් හිත උණු කර ගෙන එයාගෙ හිත සතුටු කළොත් හොදයි.
කාගෙ කාගෙත් හිත සතුටු වෙන විදියට වැඩ කරන්න කියල කිව්වට එහෙම කරන්න බැරි බව දන්නේ හිත විතරයි. කැඩෙන බිදෙන බඩු හදන්න පුලූවන් වුණාට හිත බිදුනොත් නම් හදනව බොරු. ඒකෙ ඉතිං ඇත්ත නැත්ත දන්නේ හිත බිදපු අයම තමයි.
හිතේ එකක් තියං කටින් එකක් කිව්වොත්නෙ නරක් වෙන්නෙ. ඔන්න මං හිතේ තියෙන එකම කියල දැම්ම.